එකෝමත් එක කාලෙකදි මිනිස්සුන්ට ගැනීම (ගනිනවා) පිළිබඳ අදහස සංකේත වලින් පෙන්නන්න ඕනෙ වුනා. ඉතින් ලෝකෙ පුරාවට ඒ ගැන විවිධ අදහස් තිබුණා… හින්දු අරාබි, රෝම ඉලක්කම් මෙහෙම තිබුණු අදහස් ගැන උදාහරණ. යම්කිසි පොදු සම්මතයක් විතරයි ඕනවුනේ. වැඩි දෙනෙක් භාවිතා කරන්න ගන්නකොටත්, එදිනෙදා ජීවිතේට ගැලපෙන ගතිය වැඩිවෙනකොටත් සම්මතේ කල් පැවැතීම වැඩිවෙනව.
සිංහලයින්ට ඉලක්කම් ඕන වුනු අවශ්‍යතා කීපයක්ම තිබුණා. ඉතින් ඒ ඒ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සම්මත කරගත්ත ඉලක්කම් ක්‍රම කීපයක් නිර්මාණය වුනා. ඒවා තමයි මේ…
ලිත් ඉලක්කම් (Lith Digits)
පුරාණ අංක (Archaic Numerals)
පුස්කොල අංකන ක්‍රමය (Palm leaves numbering method)
කටපය ඉලක්කම් (KaTaPaYa method)
භූත සංඛ්‍යා
ලිත් ඉලක්කම්
මුලින්ම ලිත් ඉලක්කම්. මේකෙ තියෙන්නෙ අපිට පුරුදු හින්දු අරාබි ඉලක්කම් ක්රමයේ තර්කණයම තමයි. ඒ කියන්නෙ සංඛ්‍යාංක දහයක් තියන දහයෙ පාදයෙ ක්‍රමයක්. වෙනස් වෙන්නෙ රූපික සංකේත හැඩ ටික විතරයි. අවශ්‍ය ඕනම සංඛ්‍යාවක් ලියන්න පුලුවන්. ගණිතමය කටයුතු වලට භාවිතා කළේ මේ ඉලක්කම්. ප්‍රධාන වශයෙන් ගණිතමය කටයුතු අවශ්‍ය වුනේ නක්ෂත්රය සම්බන්ධ වැඩ වලදි. ඉතින් මේ ඉලක්කම් වලට නමින් කිවුවෙ ලිත් ඉලක්කම් කියලා… ඉංග්‍රීසියෙන් කියනව Sinhala Astrological Digits එහෙම නැත්තම් Sinhala Lith Digits කියල. මේ ඉලක්කම් යුනිකෝඩ් සම්මතයටත් ඇතුලත් කරල තියෙනව. ඉතින් වෙබ් එකකට එහෙම එකතු කරන එක සරල වැඩක්.
තැන් තැන්වල භාවිතා වෙනකොට සමහර තැනෙක මේ සංකේතවල පොඩි පොඩි වෙනස්කම් තිබුණා. ඒ වෙනස්කම් සළකා බලපු සමහර අය කියනව ලිත් ඉලක්කම් ක්‍රම තුනක් තිබුණා කියල. ඒත් ඒ තුන අතර තිබුණු වෙනස්කම් ඉතාම අල්පයි. ශුන්‍යය සඳහා යෙදෙන ඉලක්කම සියලු ක්‍රමවල පොදුවේ භාවිතා වුණා. මුල් කාලීනව මේ ගැන හොයපු පර්යේෂකයො ඒ සියලු වෙනස්කම් සළකා බලා යුනිකෝඩ් වලට ඇතුලත් කරන්න සුදුසු සංකේත තෝරගෙන තියෙනව. ඉතින් ලිපියෙ දක්වල තියෙන්නෙ යුනිකෝඩ් සම්මතයට ඇතුලත් කරපු සංඛ්‍යාංක දහය.
මේවත් එක්ක වැඩකරල බලන්න ආසනම් මෙතනින් >> ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ << කොපි කරල අරගෙන (මේවා පෙන්නන්නෙ tofu විදිහට වුනත් කමක් නැහැ. tofu ටික copy කරල අරගන්න.) වෙන තැනක paste කරල මේ සංඛ්‍යාංක එක්ක වැඩකරල බලන්න ඔයාටත් පුලුවන්. හැබැයි ‘Nirmala UI’ ෆොන්ට් එක install කරගන්න වෙනව… මොකද අනෙක් බොහෝ ෆොන්ට් වල මේ ඉලක්කම් වල රූප හැඩතල අන්තර්ගත කරල නැති නිසා…
පුරාණ අංකන ක්‍රමය
ඊළඟට එන්නෙ ‘පුරාණ අංකන ක්‍රමය’ කියල හඳුන්වන ක්‍රමය. මේක බ්රාහ්මී ඉලක්කම් ක්‍රමයෙන් ආභාසය අරන් එන ක්‍රමයක්. (කොහොමත් අපේ සංඛ්‍යාංක ක්‍රම ඔක්කොටම බ්රාහ්මී සම්ප්රදාය / ඉන්දියාව එක්ක බැඳුණු සංකල්පීයමය පොදු කරුණු හුඟක් තියනව.)
මේ සංඛ්‍යාංක ක්‍රමයෙදි බිංදුව ලියන්න විදිහක් නෑ… හැබැයි 10, 100 වගේ ඒවට වෙනම ඉලක්කම් තියන නිසා ඒව ලියන්න පුලුවන්. ඉලක්කම් පාවිච්චි වෙන්නෙ ගණින සංඛ්‍යා (counting numbers) ලියන්න විතරයි. ලිපියට එකතු කරල තියෙන රූප සටහනේ පෙන්නල තියෙන්නෙ මුල් සංඛ්‍යාංක 20 ක් වෙනකම් විතරක් වුනත් ලක්ෂය, කෝටිය වැනි ඉහල අගයන්වලට අනුරූප සංඛ්යාංකත් තිබුණු බවට තොරතුරු තියෙනව. අනාගතයේ දවසක ඒවායෙ රූප හැඩතලත් ලිපියට එකතු කරන්න පුලුවන් වේවි… මේ ඉලක්කම් ක්‍රමයත් යුනිකෝඩ් වල තියෙනව.
මෙතනින් >> 𑇡 𑇢 𑇣 𑇤 𑇥 𑇦 𑇧 𑇨 𑇩 𑇪 𑇫 𑇬 𑇭 𑇮 𑇯 𑇰 𑇱 𑇲 𑇳 𑇴 << කොපි කරල අරගෙන මේ සංඛ්‍යාංක එක්ක වැඩකරල බලන්න. දැන් ‘Nirmala UI’ ෆොන්ට් එක install කරගෙන නේද ඉන්නෙ…
හෝඩියෙන් අංකනය – පුස්කොල අංකන ක්‍රමය
මේ ක්‍රමේදි හෝඩියේ තියන අකුරු පිළිවෙල එකිනෙකින් වැඩිවන අනුයාත සංඛ්‍යා විදිහට සම්මත කරල ඒ ඇසුරින් ගණිනවා…
පටන්ගන්නෙ පළමුවෙනි ගාත්රාක්ෂරයෙන්, ක යන්නෙන්… ක, කා, කි, කී, කු, කූ, කෘ, කෲ, කෟ, කෳ, කෙ, කෛ, කො, කෞ, කං, කඃ විදිහට දාසය (16) වෙනකම් ලියනව. ඊළඟට ඒ ක්‍රමයෙන්ම ඛ, ග, ඝ… ආදී ලෙස මිශ්‍ර සිංහල හෝඩියෙ තියෙන ගාත්රාක්ෂර තිස්හතරම (34) අනුපිළිවෙලින් යොදනවා. එතකොට පන්සිය හතලිස් හතර (544) වෙනකම් ලියල.
මෙහෙම එක රවුමක් ගිහින් අකුරු ඔක්කොම ඉවරවුනාම දෙවනි රවුම යනව. එතකොට දෙවනි රවුම කියන එක හඟවන්න අකුරට ඉස්සරහින් හරි පස්සෙන් හරි ලිත් ඉලක්කමෙන් අංක දෙක (෨) යොදනව. නැත්නම් අ, ආ, ඉ… ආදී ලෙස ප්රාණාක්ෂර යොදනව. එහෙමත් නැත්නම් පාලි ක්‍රමේට වි, ති, ච… ආදී වසයෙන් යොදනව. ඒකාලෙ පුස්කොළ පොත්වල පිටු අංකනය කරන්න භාවිත කරල තියෙන්නෙ මේ ක්‍රමේ.
කටපය ඉලක්කම්
මේ ක්‍රමේදි සම්මුතිය මෙහෙමයි. ඉහත ලිත් ඉලක්කම් කියල ගන්න දහයෙ පාදයෙ සංඛ්‍යා පද්ධතියට අනුරූපව හෝඩියේ තියන අකුරු බෙදාගෙන තියනව. පහලින් පෙන්නන්නෙ ඒ බෙදෙන විදිහ.
දැන් මේ ක්‍රමෙන් ඉලක්කමක් කියන්න ඕනවුනාම අදාල ඉලක්කම අග ඉඳන් මුලට ලියනව. ඉන්පස්සෙ ඒ ඒ සංඛ්‍යාංකයට අනුරූප අකුරු බලල හදාගන්න යම්කිසි වචනයකින් සංඛ්‍යාව නිරූපනය කරනව. පහසු උච්ඡාරණයක් සහ අර්ථයක් ජනිත කරගන්න ඉස්පිලි පාපිලි ආදී පිල්ලම් එකතු කළත් ඒවයින් සංඛ්‍යාත්මක අගයට වෙනසක් වෙන්නෙ නෑ. තව බිංදුව වෙනුවට තනි ස්වර අකුරුත් යොදාගන්න පුලුවන්.
එතකොට මේ සම්මතේට අනුව කෙනෙකුට ඕනනම් ‘2017 වර්ෂය’ කියන එක ‘2017 -> 7102’ කියල අරගෙන ‘ස,ය,න,ර’ කියන අකුරු වලින් ‘සියනාරි වර්ෂය’ කියල ලීවැහැකි.
භූත සංඛ්‍යා
අපි අත්දකින ලෝකෙ සම්මත වශයෙන් තියෙන්නෙ එක ඉරයි, එක හඳයි. ඇස්, කන් නම් දෙක, දෙක ගානෙ. කාලය සම්මත වශයෙන් තුනට බෙදෙනවා; අතීත, වර්තමාන, අනාගත. ඔයවගේ ලෝකය ගැන යම්කිසි පොදු එකඟත්වයක් තියන සංස්කෘතික පසුබිමක ඒ ඒ සංකල්පය එක්ක බැඳුණු සංඛ්‍යාත්මක අර්ථයන් බද්ධ වෙල තියනව. භූත සංඛ්‍යා ක්‍රමය එය නිර්මාණය වුණු ඉන්දියානු උප මහාද්වීපයෙ තිබුණු සංකල්පීය අර්ථ නිරූපණ මත රඳනව. නමුත් සලකනු ලබන ඕනෑම සංස්කෘතියක් සඳහා මේ මූලික පදනම යළි යළිත් අරුත් ගැන්විය හැකියි. පහත සංකල්පීය අර්ථ නිරූපන උපුටා ගත්තෙ බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො ලියල තියන පොතකින්.
0 – ශූන්‍ය, ගගන
1 – සූර්ය, චන්ද්‍ර, මහමෙර, හිමාලය
2 – අක්ෂි, කර්ණ, හස්ත, පාද
3 – අග්නි, කල්‍යාණ, කාල
4 – සත්‍ය, සාගර, යුග, චක්‍ර
5 – කාම, ඉන්ද්රිය, ස්කන්ධ, භූත
6 – ආයතන, සෘතු, රස
7 – පර්වත, සෘෂි
8 – ගජ, කාමස්වර්ග, පාතාල
9 – රත්න, නිධාන, නිධි, ග්‍රහ
ඉතින් මේ ක්‍රමෙන් සන්නිවේදනය කරනකොට අදාල සංඛ්‍යාව නොකියා ඊට බැඳුණු සංකල්පයන් කියනව. සංකල්ප කියනකොට සංඛ්‍යාවෙ අග ඉඳන් මුලට කියන එක තමයි සිරිත. එතකොට එතකොට අදාල සම්මුතිය දන්න කෙනා තේරුම් ගන්නව.
2017 කියන්න ඕන නම් 2017 -> 7102 පිළිවෙලට ‘සෘෂිචන්ද්රගගනකර්ණ’ කියතහැකි.
අදහසක්…
දැන් තරම් ගණිතමය අවශ්‍යතාවලට fine tune වෙල තිබුන බවක් පෙනෙන්නෙ නැතත් මේ සංඛ්‍යාංක ක්‍රම නිතරම ඒව යොදාගැනෙන සන්දර්භයට optimize වුනු ගතියක් තියනව. ගැනීම ගණිතය බවට හැරෙද්දි, ගණිතය පිළිබඳ දැනුම එදිනෙදා අවශ්‍යතාවයක් වෙද්දි මේ ගනින ක්‍රම වලින් හුඟක් අභාවයට ගියා. වඩා පහසු තනි සම්මතයක් දිහාට ලෝකෙම හැරුණා… දැන් වෙද්දි ඉලක්කම් කීව ගමන් කෙනෙකුගෙ ඔලුවට එන්නෙ හින්දු අරාබි ඉලක්කම් ක්‍රමේ විතරයි…
කෙනෙක් මේ දේවල් ගැන හොයනකොට බලනකොට ඊට බැඳුණු සමස්ත පද්ධතිය ගැන අදහසක් එනව. ඒ පද්ධතියෙ එකම රාමුවකින් සියල්ල කරන්නට තතනනවාට වඩා අවශ්‍යතාවයට අනුව තැනට ගැලපෙන්න රාමු වෙනස්කරන්න ශක්‍යතාවයක් සහ නිදහසක් දීල තියෙන බව පේනව. නමුත් වඩාත් දියුණු භෞතික ලෝකෙක ජීවත් වෙන අපට අඩුමතරමෙ අපේ පැරැණියන් සතුවුණු ඒ හැකියාවයි නිදහසයි රසවිඳින්න තරම්වවත් මනසක් සහ අවකාශයක් ඉතිරිවෙල තියෙනවද කියන එකනම් ගැටලුවක්….
෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴
≈ ජනක අත්තනායක